ආපදා මරණ 19 දක්වා ඉහළ යයි - හෙට සිට තද වැසි අඩුවේ - ජාඇල පිටාර ගලයි - පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවේ (ඡායාරූප)

Saturday, 26 May 2018 - 13:21

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+19+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තද වැසි තත්ත්වය පහව ගියද පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණය හේතුවෙන් තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

මාඔය  පිටාර ගැලීම හේතුවෙන් නාත්තන්ඩිය, මහවැව සහ වෙන්නප්පුව ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම, කොළඹ ප්‍රධාන මාර්ගය මහවැව ප්‍රදේශයෙන් අඩි 3 ක පමණ ජලයෙන් යටවී ඇති අතර, පුත්තලම, ආණමඩුව - පල්ලම මාර්ගයද ජලයෙන් යටවුණා.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් කියා සිටියේ මේ හේතුවෙන් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ ලුණුවිල පාලම අසළින් කුඩා වාහන ධාවනය කිරීමද අවදානම්සහගත බවයි.

එමෙන්ම ගං වතුර නැරඹීමට නොපැමිණෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකළා.

දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජය බිම සහ දැදුරුඔය යන ගම්මානවල පවුල් 50ක් මෙන්ම මාදම්පේ හා ගලහිටියාව යන ප්‍රදේශවල පවුල් 40ක් පමණ පීඩාවට පත්ව ඇති බව සඳහන්.

අත්තනගලුඔයේ ජලය බැස යාමත් සමඟ ජාඇල මේ වන විට පිටාර ගලමින් පවතින බවයි හිරු වාර්තාකරු බෙනට් ෆර්ඩිනැන්ඩර්ස් සඳහන් කළේ.

කෙසේ වෙතත් වැසි කාලගුණයත් සමඟ ගං වතුර අවදානමක් පැවති කැළණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලුඔයේ සහ මාඔයේ ජල මට්ටම මේ වන විට පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියා.

එමෙන්ම නාය යාමේ අවදානමක්  හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ හැටන් - කොළඹ මාර්ගයේ ගිනිගත්හේන - දියගල මාර්ගය යළිත් ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ තිස් අටදහස් දෙසිය අනූ දෙදෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.   

එසේම, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණයත් සමඟ දිවයින හරහා පැයට කිලෝමීටර් 50 දක්වා වූ තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත් පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළා.



ඡායාරූප - පුත්තලම, ජූඩ් සමන්ත / හලාවත, ඔගස්ටින් ප්‍රනාන්දු



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories