'ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.' ආයතනයේ බලපත්‍රය අවලංගු කෙරේ (වීඩියෝ)

Friday, 22 May 2020 - 17:50

%27%E0%B6%AF+%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%27+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධව මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේයි

"2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.
විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ ආයතනය ක්‍රියාත්මක වීම තවදුරටත් තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත අවම කිරීමට හේතු වනු ඇත. තව ද පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.
මීට ඉහත දී 2019 ඔක්තෝබර් මස 23 දින මාධ්‍ය නිවේදනය මගින් දැනුම් දුන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ඇල්මැති පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කරන ලදී.
මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව නියම කර ඇති කාල රාමුව තුළ දී බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමට එදිරි ව ලිඛිත ව වලංගු විරෝධතාවක් ගොනු කිරීමට ආයතනය අසමත් විය. මේ අනුව 2019 දෙසැම්බර් 21 දිනෙන් පසු ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව මුදල් ව්‍යාපාර පනත ප්‍රකාර ව පැවතිණ. කෙසේ වුව ද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු එනම් හා ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය මේ දක්වා අසමත් වී ඇත.
එම නිසා 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. මේ අනුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට 2020 මැයි 22 දින සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැත.
තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත 2000 අංක 56 දරණ කල්බදු මුල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස නිකුත් කර ඇති ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින්, එහි රක්ෂණය කර ඇති තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති අතර එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට (තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු මුදල ම ආවරණය කරගැනීමට හැකියාවක් ඇති අතර අනෙකුත් 7%ක (තැන්පතුකරුවන් 10,072කට) තැන්පතුකරුවන් හට තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී. වන්දි මුදල් ගෙවීම සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇත."



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories