පාකිස්තානයේ බන්ධනාගාරයකින් රැඳවියන් 400 ක් පළා යයි.
2012 අප්‍රියෙල් 15 ඉරිදා- පෙරවරු 10:07
වයඹ දිග පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමාව ආසන්නයේ පිහිටි බන්නු බන්ධනාගාරයට අද අළුයම සන්නද්ධ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගිනි අවි, අත්බෝම්බ සහ රොකට් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් ඊට කඩා වැදුණු 150 කට අධික සන්නද්ධ ඉස්ලාමීය සටන්කාමීන් බන්ධනාගාරයේ සිටි රැඳවියන් 400 කට ආසන්න පිරිසක් මුදවාගෙන ඇතැයි සඳහන්.
ටෙහරීක් ඊ තලෙබාන් නැමැති සන්නද්ධ සංවිධානය මෙම ප‍්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව විදෙස් ප‍්‍රවෘත්ති සේවා සඳහන් කළා. ඔවුන් සිය සංවිධානයේ විශේෂ සාමාජිකයන් බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
අද අළුයම 1 ට පමණ එල්ල වූ ප‍්‍රහාරය පැය දෙකක පමණ කාලයක් පැවති අතර, පැනගිය රැඳවියන් අතරට ප‍්‍රබල සටන්කාමීන් ද සිටින බව පාකිස්තාන බලධාරීන් සඳහන් කළා. සිරකරුවන් 384 දෙනෙකු බන්ධනාගාරයෙන් අතුරුදන් වී ඇති බවටයි වාර්තා වී ඇත්තේ.
මෙම බන්ධනාගාරය පිහිටි බන්නු නගරය අල්කයිඩා සහ තලේබාන් කි‍්‍රයාකාරකම් බහුල ප‍්‍රදේශයක්. ආරක්ෂක මුර වළළු බිඳිමින් අන්තවාදීන් බන්ධනාගාරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව පාකිස්තාන රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේෂ් මුෂාරෆ්ට ප‍්‍රහාරයක් එල්ල කිරීම නිසා මරණ දඬුවම් නියම වූ පාකිස්තාන ගුවන් හමුදාවේ හිටපු සාමාජිකයෙකුද පැනගිය රැඳවියන් අතර සිටින බව සඳහන්.

