දඹුල්ල පහළවැවේ බැම්ම කැඩෙයිද?
2012 අප්‍රියෙල් 17 අඟහරුවාදා- පස්වරු 04:16
දඹුල්ල පහළවැවේ වැව් බැම්ම සහ තම්මැන්නා ඇළේ පාලම කැඞී යාමේ අවදානමකට ලක්ව ඇතැයි ප‍්‍රදේශවාසීන් සඳහන් කරනවා. ඔවුන් පවසන්නේ මේ සඳහා කඩිනම් විසඳුමක් නොලැබුණහොත් තමන්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදුවන බවයි.
දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවාපතිරණ ද මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අද (17) පස්වරුවේ ගොස් ඇති අතර ඇය සඳහන් කළේ මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති බවයි. හිරු ප‍්‍රවෘත්ති අංශය මේ පිළිබඳව මාතලේ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් කළා. එහි නිලධාරිවරයෙක් සඳහන් කළේ සිදුවී ඇති ඉවුරු ඛාදනය වැළැක්විම සඳහා මේ වන විට කි‍්‍රයාත්මක වී ඇති බවයි. කෙසේ වෙතත් පහළවැව ව්‍යාපෘතිය සඳහා මේ වසරේ ලැබිය යුතු මූල්‍ය ප‍්‍රතිපාදන මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් මතුව ඇති බව ද ඔහු සඳහන් කළා.
