ඉන්දීය නියෝජිතයන්ගෙන් මන් මෝහන් සිං ට වාර්තාවක්.
2012 අප්‍රියෙල් 22 ඉරිදා- පෙරවරු 07:34
ශ‍්‍රී ලංකාවේ සිදුකළ සිය චාරිකාව සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත වාර්තාවක් ගොනු කිරීමට කටයුතු කරන බව ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ සාමාජික කොංග‍්‍රස් පක්ෂ මන්ත‍්‍රී සුදර්ශන් නාච්චිඅප්පන් පවසනවා. ඔහු තමිල්නාඩුව නියෝජනය කරන කොංග‍්‍රස් මන්ත‍්‍රීවරයෙකු ලෙස ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ගේ ප‍්‍රධානත්වයෙන් යුත් චාරිකා කණ්ඩායමට එක්වුණා. චෙන්නායි නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශන් නාච්චිඅප්පන් තවදුරටත් කියා සිටියේ මෙරට දෙමළ බස කථා කරන ජනතාව වෙසෙන ප‍්‍රදේශවලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡා ඵලදායී වූ බවයි.
උතුරේ අවතැන්වූ ජනයා නැවත පදිංචිකරලීමේ ප‍්‍රගතිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම මැණික් ෆාම් කඳවුර ඇතුලූ අවතැන් කඳවුරුවල මෙන්ම උතුරේ ප‍්‍රදේශ රැසක චාරිකා කළ බවයි ඔහු කියා සිටියේ. 2010 වසරේදීද ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ චාරිකා කළා. එහිදී අවතැන් කඳවුරුවල සිටි 250,000 ක් පමණ වූ පිරිස අතුරෙන් දැනට පදිංචි කරලීමට ඇත්තේ 6000 කට අඩු පිරිසක් බවත් සුදර්ශන් නාච්චිඅප්පන් මන්ත‍්‍රීවරයා පැවසුවා. ඔවුන්ද බිම් බෝම්බ ඉවත්කරලීමේ ප‍්‍රගතිය මත කඩිනමින් නැවත පදිංචිකරලීමට ලක් රජය පොරොන්දු වූ බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිය කණ්ඩායම විනාඩි 45 කට වැඩි කාලයක් පැවැත්වූ සාකච්ඡා ඉතා ප‍්‍රතිඵලදායක බවත් සුදර්ශන් නාච්චිඅප්පන් මන්ත‍්‍රීවරයා කියා සිටියා. සතියකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකාවේ ගත කරමින් ලද අත්දැකීම පිළිබඳ කරුණු අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත ඉදිරිපත් කරන වාර්තාවට ඇතුළත් කරන බව ඔහු ප‍්‍රකාශ කළා.
තමිල්නාඩුවේ දෙමළ ජාතිකවාදී පක්ෂ ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ශි‍්‍රී ලංකා චාරිකාවට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන්ද තමිල්නාඩු කොංග‍්‍රස් මන්ත‍්‍රීවරයා අදහස් දක්වා සිටියා. ඔහු සඳහන් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් තුළ සියලූ පක්ෂවලට ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර සහ ඉලක්කයන් පවතින බවයි.
