එජාපයේ මැයි දින කඹ ඇදිල්ල දිගටම.
2012 අප්‍රියෙල් 26 බ්‍රහස්පතින්දා- පස්වරු 06:49
එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් යාපනයේ පවත්වන මැයි රැලිය සඳහා සහභාගි නොවීමට නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පක්ෂයෙන් අවසරයක් ලබාගත් බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක යළි අවධාරණය කළා. එහෙත් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස කොළඹ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ තමන් පේ‍්‍රමදාස ගුණසමරු උත්සවය සඳහා සහභාගි වීමට පක්ෂයෙන් අවසරයක් ලබා නොගත් බවයි.
මේ අතර, අද පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා මෙම අවසරය ලබා ගත්තේ පසුගිය මාර්තු මස 15 වැනිදා පැවති ජාතික මැයි දින කමිටුවේදී බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමය ද අද (26) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි සභාපති නීතිඥ උපුල් ජයසූරිය එහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඇත්තේ නායකයාට එහෙයි කියා ගන්නා කෘත්‍යාධිකාරී මණ්ඩලයක් බවයි.
එහෙත් යාපනයේ මැයි දිනය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තීරණය කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලූ දෙනාගේ කැමැත්තෙන් බවයි මහ ලේකම් තිස්ස අත්තනායක අද (26) සඳහන් කළේ.
