දඹුල්ලේ මුස්ලිම් පල්ලියේ යාඥා මෙහෙයක්.
2012 අප්‍රියෙල් 27 සිකුරාදා- පස්වරු 06:38
දඹුල්ල පූජා භූමියේ පිහිටා තිබෙන, මතභේදයට ලක්වූ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිට අද (27) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නව වාමාශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න ද එක්ව සිටි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර.
එමෙන්ම පුත්තලම ජුම්මා දේවස්ථානයේ ද සිකුරාදා දහවල් දේව මෙහෙයට පැමිණි මුස්ලිම් බැතිතුමතුන් ද දඹුල්ල මුස්ලිම් දේවස්ථානය ඉවත් කිරීමට විරෝධය දැක්වීම සඳහා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඔවුන් පුත්තලම ජුම්මා දේවස්ථානය ඉදිරිපිටින් සාමකාමීව උද්ඝෝෂණය ආරම්භ කර පුත්තලම නගරය දක්වා පැමිණ විසිර ගියා.
කෙසේ වෙතත් මතභේදයට තුඩු දුන් දඹුල්ල මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා යාඥා මෙහෙය අද (27) සාමකාමීව පැවැත්වුණා. යාඥා මෙහෙයෙන් අනතුරුව එයට සහභාගි වූ එම ජනතාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දඹුල්ල ප‍්‍රදේශයේ මුස්ලිම් සහ බෞද්ධ ජනතාව අතර කිසිදු ගැටුමක් නොමැති බවත්, ඇතිව තිබෙන ගැටළුව ජනාධිපතිවරයා විසින් ලබාදෙන ඕනෑම විසඳුමක් පිළිගැනීමට තමන් සූදානම් බවයි.
දඹුල්ල මුස්ලිම් පල්ලියේ සිද්ධිය පදනම් කරගෙන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා හෙවත් ඉස්ලාමික වියතුන්ගේ සභාව ද දෙකඩ වී තිබෙනවා. ඉවත් වූ කණ්ඩායම අද (27) සිට ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ලෙස කි‍්‍රයාත්මක වනවා.
මේ අතර ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ උපදේශක අයතුල්ලා ටෂ්කිරි අද (27) පෙරවරුවේ අග‍්‍රාමාත්‍යවරයා මුණ ගැසුණා. එහිදී දඹුල්ල පූජා භූමියේ ඇති මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් ඇති ගැටළුව සම්බන්ධයෙන් ද කතා බහට ලක්වුණා. මෙම ගැටළුව විසදිමට අග‍්‍රාමාත්‍යවරයා ගෙන යන කි‍්‍රයාමාර්ගය ආගමික සහජීවනයට බලවත් ශක්තියක් බවයි අයතුල්ලා ටෂ්කිරි පවසා ඇත්තේ.
