ඉන්දියාවෙන් සරණාගතයන් පැමිණීම අඩුවෙයි.
2012 අප්‍රියෙල් 28 සෙනසුරාදා- පස්වරු 01:29
ඉන්දු - ලංකා මගී නැව් සේවාව අත්හිටුවීම හේතුවෙන් ඉන්දියාවේ සිට ශ‍්‍රී ලාංකීක දෙමළ සරණාගතයන් නැවත මෙරටට රැගෙන ඒම මන්දගාමී වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පවසනවා. මේ වසරේ මුල් මාස තුන තුළ ඉන්දියාවේ සිට ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණ ඇත්තේ ශ‍්‍රී ලාංකික සරණාගතයන් 408 දෙනෙකු පමණයි. එහෙත් පසුගිය වසරේ එම කාලය තුළ සරණාගතයන් 597 දෙනෙකු දිවයිනට පැමිණි බව ජගත් සරණාගත කොමිසම පෙන්වා දෙනවා. ඒ සඳහා එමගින් පැහැදිලි හේතුවක් ප‍්‍රකාශ කර නැහැ. එහෙත් කොළඹ සහ තූත්තුකුඩිය අතර කි‍්‍රයාත්මක වූ මගී නැව් සේවාව නතරවීම ඊට ප‍්‍රධාන හේතුවක් විය හැකි බවයි සරණාගත කොමිසම පවසන්නේ. ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ මුහුදු මාර්ගයටයි. එහිදී වැඩි භාණ්ඩ ප‍්‍රමාණයක් රැගෙන ඒමට හැකිවීම ඊට හේතුවයි. 2011 වසරේදී ආරම්භ කෙරුණු වැඩපිළිවෙල යටතේ ශ‍්‍රී ලාංකික සරණාගතයන් 1728 දෙනෙකු දිවයිනට රැගෙන ඒමට ජගත් සරණාගත කොමිසම කටයුතු කළා. ඔවුන් වැඩි පිරිසක් වාසය කළේ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවලයි.
