රණවිරු මාසය ඇරඹේ. - දෙමළ ඩයස් පෝරාවෙන් ෆැක්ස් විරෝධතාවක්.
2012 අප්‍රියෙල් 30 සඳුදා- පස්වරු 12:43
රණවිරු සැමරුම් මාසය අදින් ආරම්භ වනවා. අද පෙරවරුවේ අරලිය ගහමැදුරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප‍්‍රථම රණවිරු කොඩිය පැළඳවීම සිදුවුණා. රණවිරු කොඩි අලෙවියෙන් ලැබෙන සියලූම මුදල් රණවිරුවන්ගේ සහ ඔවුන් පවුල්වල ඉදිරි සුභ සාධන කටයුතු සඳහා යෙදවෙන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කර වසර 3 ක් සැමරෙන විජයග‍්‍රහණයේ සැමරුම් දිනය ලබන මස 19 වැනිදා පැවැත්වෙනවා. එහි ප‍්‍රධාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ මුවදොර පිටියේදී මෙවරත් පැවැත්වෙනු ඇති. ඊට සමගාමීව පළාත් මට්ටමින් ද සැමරුම් උළෙලවල් සංවිධානය කර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර ත‍්‍රස්තවාදය අවසන් වසර 3 ක් සැමරෙන ලබන 18 වැනිදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙත ෆැක්ස් පණිවුඩ යොමුකරන ලෙස දෙමළ ඩයස්පෝරාව වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා. ඇමෙරිකාවේ කි‍්‍රයාත්මක මැයි 18 නැමැති දමිළ සංවිධානය විසින් දෙමළ ඩයස්පෝරාව වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. එම සංවිධානයේ නියෝජිතයෙකු වන සුබ සුදර්ශන් නැමැත්තා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. එදිනට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය වෙත ෆැක්ස් පණිවුඩයක් යොමුකර රණවිරු සැමරුමට විරෝධය පළ කරන ලෙසයි දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා ඇත්තේ. එම ෆැක්ස් පණිවුඩයෙන් ශ‍්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවටත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලීමක් කිරීමට සූදානම් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
