ෆොන්සේකා නවලෝකයෙන් ජාතික රෝහලට.
2012 මැයි 04 සිකුරාදා- පස්වරු 06:08
කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා, ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස කොළඹ මහාධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට අද (04)නියෝග කළා. ඉකුත් ජනාධිපතිවරණයේදි යුධ හමුදාවෙන් පැන ගිය සෙබලූන් 10 දෙනෙකුට නවාතැන් සහ ආහාරපාන සහ වැටුප් ලබා දෙමින් ඔවුන්ගේ රාජ්‍ය පාක්ෂිකභාවය බිඳීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද (04) කැඳවූ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කළේ. බන්ධනාගාර කොමසාරිස් අශෝක හපුආරච්චි අද (04) අධිකරණය හමුවේ කියා සිටියේ සරත් ෆොන්සේකාට නවලෝක රෝහල තුළ දී ආරක්ෂාව සැපයීමට නොහැකි බවයි. ඒ අනුව සරත් ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහිදී ෆොන්සේකා පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කළ ද කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ කියා සිටියේ සරත් ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා ආරක්ෂාව තමන්ට වැදගත් බවයි. එමෙන්ම සරත් ෆොන්සේකා ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු ඔවුගේ ආරක්ෂාව පිළිබද වගකීම බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් භාර ගත යුතු බව ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා. මීට අමතරව සරත් ෆොන්සේකා හට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ පෞද්ගලික වෛද්‍යවරයෙකුගේ ප‍්‍රතිකාර ලබා ගත හැකි බව ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී අවධාරණය කළා. සරත් ෆොන්සේකා ප‍්‍රතිකාර සඳහා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇද්දැයි හිරු ප‍්‍රවෘත්ති අංශය අද (04) පස්වරුවේ එහි වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජාතා සේනාරත්නගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ මෙතෙක් සරත් ෆොන්සේකා ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර නොමැති බවයි.
