තමිල්නාඩුවේ ඊළාම් කතාවට සුෂ්මා ස්වරාජ්ගෙන් පිළිතුරු.
2012 මැයි 11 සිකුරාදා- පෙරවරු 07:15
තමිල්නාඩු දේශපාලන පක්ෂ ශ‍්‍රී ලංකාවේ දෙමළ ඊළමක් උදෙසා කරන ප‍්‍රකාශ හෙළා දකින බව ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් පවසනවා. ඇය කියා සිටියේ මෙරට දෙමළ ජනතාව නියෝජනය කරන මූලික පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය හෝ ඊළාම් රාජ්‍යයක් නොඉල්ලන අවස්ථාවක තමිල්නාඩු පක්ෂ මෙසේ ඉල්ලීම් කිරීම නිවැරදි නොවන බවයි. දෙමළ ජාතික සන්ධානය එක්සත් ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් ඉල්ලා සිටින බවද විපක්ෂ නායිකාව ප‍්‍රකාශ කළා. භාරතීය ජනතා පක්ෂයේ පස්වන ප‍්‍රාන්ත සමුළුව අමතමින් ඇය ප‍්‍රකාශ කළේ පසුගියදා ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අතරතුර දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමග සාකච්ඡා කළ බවයි. දේශපාලන විසඳුමක් සඳහා ඔවුන් බලාපොරොත්තු තබාගෙන ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඞී.එම්.කේ. සහ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂවල නියෝජිතයන් ඉන්දීය සර්ව පාක්ෂික කමිටුවෙන් ඉවත්කර ගැනීම සුෂ්මා ස්වරාජ් මෙහිදී හෙළා දැක තිබෙනවා. ශ‍්‍රී ලංකා සංචාරයේදී මෙරට නියෝජිතයන්ගේ බලපෑමකින් තොරව ජනතාවගේ ප‍්‍රශ්න සාකච්ඡා කළ බවයි ඇය මෙම සමුළුවේදී වැඩිදුරටත් කියා සිටියේ.
