තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරවලින් අපේ මුහුද අවදානමක.
2012 ජූනි 10 ඉරිදා- පස්වරු 12:58
තමිල්නාඩුවේ කූඩන්කුලම් හි ඉදිකෙරෙන න්‍යෂ්ටික බලාගාරයේ ද්‍රව අපද්‍රව්‍ය ඉන්දීය සාගරයට මුදාහැරෙන බව දැන් හෙළිදරව් වී තිබෙනවා. න්‍යෂ්ටික බලශක්තියට එරෙහි ජනතා ව්‍යාපාරය නම් වූ පාරිසරික සංවිධානයක් කූඩන්කුලම් ව්‍යාපෘතියේ ඇගයීම් වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි ඒ බව අනාවරණය කළේ. පරිසර සංවිධානය එම වාර්තාව ලබාගෙන ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය මත සිදුකළ අධිකරණ ක‍්‍රියාමාර්ගයකින් අනතුරුවයි. කූඩන්කුලම්හි ඉදිකෙරෙන න්‍යෂ්ටික බලාගාර 6 කින් හෝ 8 කින් මෙන්ම දකුණු ඉන්දියාවේ මුහුදට මුහුණලා ඉදිකෙරෙන අනෙකුත් න්‍යෂ්ටික බලාගාරවලින් මෙම ද්‍රව අපද්‍රව්‍ය සාගරයට එක් කෙරෙනු ඇති. එමගින් ඉන්දියන් සාගරය නුදුරේදීම න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් පිරුණු කලාපයක් බවට පත්විය හැකි බව පරිසර සංවිධානවල අදහසයි. එමගින් බෙංගාල බොක්ක, අන්දමන් මුහුද, මන්නාරම් බොක්ක, පෝක් සමුද්‍ර සන්ධිය, අරාබි මුහුද ඇතුළු ඉන්දීය සාගරයට අයත් මුහුදු ප‍්‍රදේශවල මුහුදු ජීවීන්, කොරල් පර සහ ජෛව විවිධත්වය විනාශ වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙලෙස විකිරණශීලී අපද්‍රව්‍ය මුහුදට එක් කිරීමට එරෙහිව පරිසර සංවිධාන ඉන්දියාවේ අධිකරණ ක‍්‍රියාමාර්ගවල තවදුරටත් නිරතවනවා. මෙලෙස ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලින් මෙරට මුහුදු තීරයට බලපෑමක් එල්ලවන්නේ නම් ඒ පිළිබඳ ගන්නා ක‍්‍රියාමාර්ග කුමක්දැයි අප විමසා සිටියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ ආර්.එස්. ආරියප්පෙරුම ගෙන්.
