ගඩාෆි පුත‍්‍රයා බැලීමට ගිය නිලධාරීන් අත්අඩංගුවේ.
2012 ජූනි 10 ඉරිදා- පස්වරු 01:30
ලිබියානු කැරළිකරුවන් විසින් තවදුරටත් රඳවාගෙන සිටින හිටපු ජනාධිපති කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් බැලීමට ගිය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන් 4දෙනෙකු ලිබියාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිලධාරීන් ගඩාෆි පුත‍්‍රයාට රහස් ලිපි ලබාදීමට උත්සාහ කළ බවටයි ලිබියානු රජය චෝදනා කළේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන් පසුගිය ජුනි 6 වැනිදා ලිබියාවේ සින්ටාන් ප‍්‍රදේශය වෙත ගියේ සයිෆ් අල් ඉස්ලාම් බැලීම සඳහා විශේෂ අවසරයක් සහිතවයි. ලිබියාවේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මර්දනය කළ බවට සයිෆ් අල් ඉස්ලාම්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත චෝදනා එල්ලවී තිබෙනවා. එහෙත් හේග් නුවර අධිකරණය වෙත ගඩාෆි පුත‍්‍රයා රැගෙන යාම සඳහා ලිබියානු වත්මන් රජය මෙතෙක් අවසර ලබාදී නැහැ. ඔහු ලිබියාව තුළ අධිකරණ ක‍්‍රියාමාර්ගයකට ලක් කළ යුතු බවයි ලිබියානු බලධාරීන් පවසන්නේ. කෙසේ නමුත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිලධාරීන් සයිෆ් අල් ඉස්ලාම් හමුවීම නිසා ඔහුගේ සැබෑ තත්ත්වය ලොවට හෙළිදරව් වනු ඇතැයි ඔවුන් අතර පවතින්නේ බියක්. මේ නිසා ඔවුන් ලිබියාව විසින් රඳවාගෙන සිටින බව විශ්වාස කෙරෙනවා.
මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය නිලධාරීන් පිරිස වහා නිදහස් කිරීමට ලිබියාව පියවර ගත යුතු බවයි.
