එච්.අයි.වී. ආසාදිතයින් 220 ක් බන්ධනාගාරයේ.
2012 ජූනි 12 අඟහරුවාදා- පස්වරු 06:24
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ඒඞ්ස් රෝගය ආසාධිත වී ඇති බවට සැක පළ කරන රැඳවියන් සායනයකට යොමු කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ කියා සිටියේ කඩිනමින් මෙම සැකකරුවන් සායනයකට යොමු කර රුධිර සාම්පල් පරීක්ෂා කිරීමක් සිදු කරන ලෙසයි. මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ සිටියදී ඒඞ්ස් වැළදී මියගිය සැකකරුවෙකුට අදාළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කළේ. ඉකුත් මාර්තු මස 11 වැනි දින බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සැකකරු මියගියා. එහිදී සිදුකරන ලද මහේස්ත‍්‍රාත් පරික්ෂණවලින් හෙළිවී ඇත්තේ එම සැකකරුට ඒඞ්ස් වැළඳී ඇති බවයි. එහිදී බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ කොළඹ නව මැගසින් බන්ධනාගාරය තුළ ඒඞ්ස් රෝගය ආසාදිත වී ඇති බවට සැක පළ කරන සැකකරුවන් 220 ක් සිටින බවයි.
කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීවරුන් අධිකරණයට කියා සිටියේ සායනය සිදුකිරීම සඳහා ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බවයි. එම නිසා ලිංගාශ‍්‍රිත රෝග ඒඞ්ස් මර්ධන වැඩපිලිවෙලේ නිලධාරීන් මේ සඳහා යොමු කරන ලෙසද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට දැනුම්දුන්නා.
