ජලාශ රැසක ජල මට්ටම පහතට. - ප‍්‍රදේශ කිහිපයකට දැඩි සුළං.
2012 ජූනි 13 බදාදා- පස්වරු 12:39
ගත වූ පැය 24 තුළ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං සහ වැසි හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි 90 කට පමණ අලාභ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ මාතර, යටියන, පයාගල, කළුතර, නුවරඑළිය යන ප‍්‍රදේශවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයෙහි සුළු වෙනස්වීමක් තව දින 3 කින් පමණ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් සුළං ප‍්‍රවාහය නිසි පරිදි දිවයින හරහා ගමන් නොකිරීම නිසා මෝසම් වැසි ප‍්‍රමාද වී ඇති බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා සඳහන් කළේ.
පසුගිය වසරවලට වඩා මේ වසරේ යළ කන්නය සඳහා වාරි ජලය නිකුත් කිරීමට අවශ්‍ය වැසි ජලය මහවැලි සහ වාරිමාර්ග ජලාශවලට නොලැබී ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 30 ක් දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 20 දක්වා සහ රන්දෙණියගල ජලාශයේ ජල මට්ටම සියයට 42 දක්වා පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැනට ගෘහස්ථ පාරිභෝජනය සහ පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙමින් ජලය නිකුත් කෙරෙන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම මෙවර යළ කන්නයේදී සියයට 80 කට වැඩි වී වගාවක් කිරීමට නිර්දේශ කරනු ලැබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, පරාක‍්‍රම සමුද්‍රය සහ මාදුරු ඔය ජලාශවල ගබඩා කර ඇති ජලය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග අමාත්‍යාංශය ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කෙසේ වෙතත් ජලාශවල පවතින ජල මට්ටම් පිළිබඳව පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජී.ඒ.ගොඩලියද්ද.
දැනට පවතින වියළි කාලගුණය එළවළු වගාවන්ට ද බලපා තිබෙනවා. මේ නිසා බොහෝ එළවළුවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර කි‍්‍රස්ටි විජේරත්න සඳහන් කළේ.
මේ අතර කෑගල්ල ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ මේ දිනවල විදුලිබල සපයන්නේ ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ බවයි.
