කළලය සගවා අපරාධයක් වසන් කළාට පුද්ගලයෙකු රිමාන්ඞ්.
2012 ජූනි 13 බදාදා- පස්වරු 04:01
නොමේරු ළඳරු කළලයක් වළදමා අපරාධයක් වසන් කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ එප්පාවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද තඹුත්තේගම මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී පොලිසිය කියා සිටියේ මෙම ළඳරු කළලය වයස අවුරුදු 14 ක පමණ බාල වයස්කාරියකගේ කුස තුළ තිබූ එකක් බවට පරීක්ෂණවලදී අනාවරණය වුණු බවයි. අදාළ බාලවයස්කාරිය දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. මෙම කළලය ස්වභාවිකව ගබ්සා වූවක් ද නොඑසේනම් නීති විරෝධී ලෙස ගබ්සා කළ එකක් ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා එය අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා. පොලිසිය මෙම ළඳරු කළලය පසුගියදා සොයා ගත්තේ අනුරාධපුර - තලාව, මොරගොඩ ප‍්‍රදේශයේ වළදමා තිබියදීයි.
