මානව හිමිකම් සැසියට ලක් රජයෙන් වාර්තාවක්.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පස්වරු 12:37
ජිනීවා හි දැන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 20 වෙනි සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාව විශේෂ වාර්තාවක් එහි සභාපතිනිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපනය යන ක්‍ෂේත‍්‍ර පිළිබඳවයි එම වාර්තාවෙන් කරුණු දක්වා ඇත්තේ. ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සියලූම ජනතාව සඳහා නොමිලේ හිමිවන බවත් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත බවත් මෙම වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම මීට පෙර ශ‍්‍රී ලංකාවට ලැබී තිබූ උපදෙස් අනුව වැඩබිම්වලදී සිදුවන සෞඛ්‍ය ගැටළු පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සඳහා ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්. මීට අමතරව මෙම වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව 1945 වර්ෂයේ සිට තෘතීක අධ්‍යාපනය ඉහළ නැංවීමට ගත් පියවරද එහි අන්තර්ගතයි. එමෙන්ම තාක්ෂණය භාවිත කරමින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දියුණු කිරීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති උත්සාහය පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 20 වෙනි සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවෙන් දැනුවත් කර තිබෙනවා. එහෙත් දියුණු රටවලට සාපේක්ෂව දියුණුවෙමින් පවතින රටවල මූල්‍ය ගැටළු පවතින බැවින් අධ්‍යාපනය සඳහා රජයක් දරන උත්සාහයට අමතරව එහි වගකීම බාහිර ලෝකයටද පැවරෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
