සිරියාවට තාවකාලික ආණ්ඩුවක් එන ලකුණු.
2012 ජූලි 01 ඉරිදා- පෙරවරු 08:23
සිරියාවේ අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තර එකඟතාවක් ඇතිවී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සිරියානු සාම නියෝජිත හිටපු මහ ලේකම් කොෆී අන්නන් පවසනවා. ජිනීවා නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම අන්තර්වාර රජය සඳහා සිරියානු රජයේ මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් ඇතුළත් විය යුතු බවයි. කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් බලයේ රැඳී නොසිටිය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අවධාරණය කළා. සිරියාවේ ආණ්ඩු විරෝධී ගැටුම් තවදුරටත් පවතින අතර දමස්කස් අගනුවර තදාසන්නයේ විපක්ෂ ක‍්‍රියාකාරීන් සහභාගි වූ අවමඟුල් පෙරහැරකටද ඊයේ මෝටාර් ප‍්‍රහාරයක් එල්ලවී ඇති බව සඳහන්.
මේ අතර සිරියානු විසඳුම පිළිබඳ තීරණාත්මක බලපෑමක් සහිත රුසියාවද අන්තර්වාර රජය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සඳහන් කළේ අන්තර්වාර රජයේ සිටිය යුතු සහ නොසිටිය යුතු පුද්ගලයන් පිළිබඳ පෙර කොන්දේසි පනවා නොමැති බවයි. සිරියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ පැවති ක‍්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමට බටහිර රටවල් බලවතුන් මෙන්ම රුසියාව සහ චීනයද සහභාගි වුණා.
