ජයලලිතාගේ ශ‍්‍රී ලංකා විරෝධය උත්සන්න වේ.
2012 ජූලි 05 බ්‍රහස්පතින්දා- පස්වරු 12:39
චෙන්නායි හි තාම්බරම් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් සිය ප‍්‍රාන්තයෙන් ඉවත් කරගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින එකඟතා ගිවිසුමකට අනුව මෙරට ගුවන් හමුදා නිලධාරින් 9 දෙනෙකු මෙලෙස එහි පුහුණුව ලබන බව සඳහන්. ඔවුන් වහා ඉවත්කරගන්නා ලෙස ඉල්ලීමක් කරමින් තමිල්නාඩු මහ ඇමතිනිය කියා සිටියේ ඔවුන් සිය ප‍්‍රාන්තය තුළ පුහුණුව ලැබීම දෙමළ විරෝධී ක‍්‍රියාවක් බවයි. ඒ පිළිබඳව අප ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් ඇන්ඩෲ විජේසූරියගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තමිල්නාඩු මහ ඇමතිනියගේ ඉල්ලීම ඉන්දීය මධ්‍යම රජය සමග විසඳාගත යුත්තක් බවයි. ශ‍්‍රී ලංකාව නිල වශයෙන් කටයුතු කරනු ලබන්නේ ඉන්දීය මධ්‍යම රජය සමගයි මෙරට ගුවන් හමුදා නිලධාරීන්ගේ පුහුණුව සම්බන්ධයෙන් ඔවුන් ගනු ලබන තීරණ අනුව කටයුතු කිරීමට සුදානම් බවත් ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.
මේ අතර මෙරට මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් නාවික හමුදාව මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ධීවරයන් පිරිස වහා නිදහස් කරගැනීමට කටයුතු කරන්නැයිද තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා. ඇය මෙම ඉල්ලීම කර ඇත්තේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං වෙත ලිපියක් යොමු කරමින්. බෝට්ටු 3කින් පැමිනි ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
