අඩසිය වසකට පසු ලිබියාවේ යළිත් නිදහස් ඡන්දයක්.
2012 ජූලි 07 සෙනසුරාදා- පස්වරු 12:39
වසර 50කට පසු ලිබියානුවන් අද (07) මහ මැතිවරණයක් පවත්වනවා. එහෙත් ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසු ලිබියාව දැන් කැඩි බිදී යාමේ අවදානමකට මුහුණ දෙන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. එමෙන්ම රට තුළ ප‍්‍රචණ්ඩත්වය මෙතෙක් අවසන් වී නැහැ. අද (07) පැවැත්වෙන මැතිවරණය මගින් අන්තර් වාර මහජන නියෝජිත සභාවක් පත් කර ගැනෙන අතර එමගින් ලිබියාවට අග‍්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් තෝරා ගැනීමට නියමිතයි. මැතිවරණයට දිනක් තිබියදී ලිබියානු කැරැල්ලේ මූලස්ථානය වූ බෙංගාසි නුවර දී මැතිවරණ නිලධාරීන් රැගත් හෙලිකොප්ටරයක් ප‍්‍රහාරයකට ලක් වීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ආසන 200කින් යුත් ලිබියානු අන්තර් වාර පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට අපේක්ෂකයන් 2639ක් තරග වදින අතර, පක්ෂ සංඛ්‍යාව 374ක්. මේ අතර ලිබියාවේ එක් එක් ප‍්‍රදේශවලට ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව වාර්තා වනවා. විශේෂයෙන් ගඩාෆි පාලන සමයේ අඩු සැලකිල්ලක් හිමි වූ ලිබියාවේ නැගෙනහිර කලාපයට ලබා දී ඇත්තේ ආසන 60ක් පමණයි. ලිබියාවේ තෙල් සම්පත වැඩි වශයෙන් කේන්ද්‍ර ගත වී ඇත්තේ ද නැගෙනහිර ප‍්‍රදේශයටයි. ආසන බෙදීමේ ගැටළුවට පිළියමක් ලෙස අන්තර් වාර රජය ප‍්‍රකාශ කළේ ලිබියාවේ නව ව්‍යවස්ථාව මෙම නියෝජිත සභාව මගින් සකස් නොකරන බවයි. ඒ සඳහා පසුව පැවැත්වෙන මැතිවරණයකදී සාමාජිකයන් 60 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ගන්නා බව ද අන්තර් වාර රජය ප‍්‍රකාශ කළා.
