මුස්ලිම් කොංග‍්‍රසයේ මතභේද තවදුරටත්.
2012 ජූලි 14 සෙනසුරාදා- පස්වරු 12:19
මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දීමට තීරණය කළ මුස්ලිම් කොංග‍්‍රසය තුළ පැවැති මතභේද මෙතෙක් අවසන් වී නොමැති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මැතිවරණයේ දී ආණ්ඩුවට එක්වනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් මුස්ලිම් කොංග‍්‍රසය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබුණා. ඊයේ මුස්ලිම් කොංග‍්‍රස උත්තරීතර මණ්ඩලය සන්ධාන ආණ්ඩුවට සහාය ලබාදීමට තීරණය කළ ද පක්ෂයේ තවත් කණ්ඩායමක් එම තීරණය අනුමත නොකරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව පක්ෂයේ එම තීරණය අනුමත නොකරන පිරිස් මේ වන විට වෙනමම සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා. ඒ අනුව මුස්ලිම් කොංග‍්‍රසයේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු අද පස්වරුවේ කොළඹ දී එම සාකච්ඡාව පවත්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම සන්ධාන ආණ්ඩුවට සහාය ලබාදීම අනුමත නොකරන මෙම කොංග‍්‍රස් නායකයින් පිරිස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් සමග හෙට දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කර ඇති බව ද එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.
