රුපියලේ අගය ජනතාවට බලපාන බව අයි.එම්.එෆ්. පිළිගනී.
2012 ජූලි 23 සඳුදා- පස්වරු 06:26
මෙරට ආර්ථිකයේ දිගුකාලීන ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර, නව ණය ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙනවා. ආදායම් ඉහළ නැංවීම, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය, අය - වැය පරතරය සහ උද්ධමනය පහත හෙළීම එහි අරමුණයි. මෙම නව සහයෝගීතාව ඇති කර ගැනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාව වෙත ලබාදීමට ප‍්‍රතිඥා දුන් ඩොලර් බිලියන 2.6ක ණය මුදල සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි. කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා නේවාසික නියෝජිත කෝෂි මතායි කියා සිටියේ මෙලෙස ශ‍්‍රී ලංකාව වෙත මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනක් සාර්ථක ලෙස සම්පූර්ණ කෙරුණේ ප‍්‍රථම වරට බවයි.
රුපියලේ අගය අව ප‍්‍රමාණය වීම උද්ධමනයේ ඉහළ යාම තුළින් ජනතාවට බලපෑමක් ඇති කරන බව මූල්‍ය අරමුදලේ නියෝජිතයා පිළිගත්තා. එහෙත් විදේශ විනිමය ඉල්ලූම සහ සැපයුම අතර, සමබරතාවක් ඇති කරලීමට මහබැංකුව කටයුතු කරන බවයි කෝෂි මතායි සඳහන් කළේ.
මේ අතර, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (23) දිනයේ රුපියල් 130ත් 131ත් අතර අගයක් දක්වා ශක්තිමත් වුණා.
