සිරියානු කැරළිකරුවන් යුද ආධාර ඉල්ලයි.
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 01:14
ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදාවලින් එල්ල කෙරෙන දරුණු ප‍්‍රහාරවලට මුහුණ දීම සඳහා තමන් සන්නද්ධ කරන ලෙස සිරියානු විපක්ෂය විදේශ රටවලින් ඉල්ලීමක් කළා. සිරියානු ජාතික මණ්ඩලය නම් වූ විපක්ෂ සන්ධානයේ ප‍්‍රධානී අබ්දුල්බසෙට් සයිඩා මෙම ඉල්ලීම කළේ සිරියානු හමුදා අලෙප්පො නගරයට තවදුරටත් දැවැන්ත ප‍්‍රහාර එල්ල කරන අතරතුරයි. ජනාධිපති අසාද්ට රැකවරණ ලබාදීම වෙනුවට ඔහු සමූලඝාතන සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවද විපක්ෂ ක‍්‍රියාකාරීන්ගේ ප‍්‍රධානියා පැවසුවා. සිරියාවේ දෙවන විශාලතම නගරය මෙන්ම වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇලෙප්පෝ හි මහා ලේ වැගිරීමක් සිදුවිය හැකි බවට බටහිර රටවල් විසින්ද අනතුරු ඇඟවා තිබෙනවා. කැරළි කරුවන් අත පවතින මෙම නගරයේ යලි අත්පත් කරගැනීම සඳහා සිරියානු හමුදා උපරිම බලය යොදවනු ඇති. මේ නිසා යුද ටැංකි සහ ජෙට් ප‍්‍රහාරක යානා වැනි සංග‍්‍රාමික උපකරණ තමන්ට අවශ්‍ය බව විපක්ෂ ක‍්‍රියාකාරීන් සඳහන් කළා. සිරියාව මුදා ගැනීමේ සටනට සහය වන්නැයි අබුඩාබියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්දුල්බසෙට් සයිඩා අරාබි රටවලින් ඉල්ලීමක් කළා.
