රුසියාව ජගත් මහා මණ්ඩලය හෙළා දකී.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පෙරවරු 07:39
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊයේ සම්මත කර ගනු ලැබූ සිරියාව පිළිබද යෝජනාව එහි සාම කි‍්‍රයාදාමය අවතක්සේරුවට ලක් කර ඇති බව රුසියාව පවසනවා. බටහිර රටවල සහාය ඇතිව ජගත් සංවිධාන මහා මණ්ඩලය ඊයේ (03) සම්මත කර ගනු ලැබූ යෝජනාව මගින් සිරියාව පිළිබඳ දැඩි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය හෙළා දකිනු ලැබුවා. එය සම්මත වූයේ පක්ෂව ඡුන්ද 133ක් සහ විපක්ෂව ඡන්ද 12ක් ලෙසයි. සාමාජික රටවල් 31ක් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා. අදාළ යෝජනා මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙන්ම සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ද දැඩි ලෙස විවේචනය කළා. සෞදි අරාබිය විසින් ජගත් මහා මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ සහ අරාබි ලීගයේ සිරියානු විශේෂ නියෝජිත කොෆි අන්නන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් ජගත් සංවිධානයේ රුසියානු නියෝජිත විටාලි චර්කින් කියා සිටියේ මෙම යෝජනාව ඒක පාර්ශවික යෝජනාවක් බවයි. එමෙන්ම සිරියානු රජයට එරෙහිව සටන් වැද සිටින සන්නද්ධ විපක්ෂයට එමගින් සහාය පළ කර ඇති බවට ද ඔහු චෝදනා කළා.
