තෙල් මිලදී ගැනීම් ගැන විගනකාධිපති පරීක්ෂණයක්.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 06:46
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරක කාලය තුළ සිදුකළ සියලූ ක්ෂණික මිලදී ගැනීම් සහ තොග කළමනාකරණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (06) නියෝග කළා. ඒ අනුව විගනකාධිපතිවරයා හරහා මෙම පරීක්ෂණය සිදුකරන ලෙසයි නියෝග කර ඇත්තේ.
මේ අතර, බාල ඞීසල් භාවිත කිරීම නිසා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාගේ නිළ රථය ද අද (06) කාර්මික දෝෂයකට ලක්වුණා. ඔහු මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටියදී වැල්ලවාය නගරයේ දී මෙම අනපේක්ෂිත සිද්ධියට මුහුණ දී තිබෙනවා. පසුව අමාත්‍යවරයා ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ මෝටර් රථයක නැග අදාළ මංගල උත්සවය සඳහා පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වුවත් මෙරට තුළ සුපිරි ඞීසල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ බාල ඞීසල් අර්බුදය මතුවීමත් සමගම ප‍්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන දෙකක් සාමාන්‍ය ඞීසල් වෙනුවට සුපිරි ඞීසල් භාවිත කිරීමට තීරණය කිරීමයි. මේ වන විට දුම්රිය ධාවනය සඳහා සුපිරි ඞීසල් භාවිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර, වරාය අධිකාරිය ද සුපිරි ඞීසල් භාවිතයට යොමු වී තිබෙනවා. එහෙත්් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා සඳහන් කළේ සුපිරි ඞීසල් භාවිතයෙන් ඉවත්ව සාමාන්‍ය ඞීසල් භාවිතයට යොමු වන ලෙස අදාළ රාජ්‍ය ආයතන දෙකෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි. සුපිරි ඞීසල් ප‍්‍රමාණවත් වන්නේ තවත් දින 12කට පමණක් බවයි ඔහු කියා සිටියේ. කෙසේ වුවත් සුපර් ඞීසල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර එය පැමිණීම ප‍්‍රමාද වුවහොත් සුපිරි ඩිසල් හිඟයක් ඇති විය හැකි බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
