Z - ස්කෝර් තීන්දුව ලැබෙන තුරු සරසවි ගමන නවතී.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 06:47
ඉසෙඞ් ලකුණු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලැබෙන තුරු විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම් සිදුනොකරන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඉසෙඞ් ලකුණු නිකුත් කිරීමේ දී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමයින් 33 දෙනෙකු ගොනු කළ පෙත්සමක් අද (06) විභාගයට ගත් අවස්ථාවේදියි. මෙහිදී විභාග කොමසාරිස්වරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපති පාලිත ප‍්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සියලූ පාර්ශව සම්බන්ධ කර ගනිමින් මෙම ගැටළුවට නිසි ක‍්‍රමවේදයන් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. දැනටමත් අදාළ පාර්ශවයන් මේ සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නිසි ලෙස කි‍්‍රයාත්මක නොකිරීම නිසා යළිත් වරක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ ගොනු කළ බවයි. එය විභාගයට ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කළ අතර එය ශ්‍රේෂ්ධිකරණය විසින් පිළිගනු ලැබුවා. දෙපාර්ශවයේම කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ නීතිපතිවරයාගේ කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වන දා මෙම පෙත්සම යළි කැදවන බවයි. නීතිපතිවරයා එදිනට ඉදිරිපත් කරන විසඳුම පිළිබදව සෑහීමකට පත්වන්නේ නම් එය කි‍්‍රයාත්මක කරන බවත්, එසේ නොවුණහොත් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට කටයුතු කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි අද (06) මෙම පෙත්සම සලකා බැලූනේ. එහිදී අගවිනිසුරුවරිය කියා සිටියේ මෙවැනි ගැටළු ඇතිවීම නිසා මෙරට සිසුන්ට විභාග පිළිබද පවතින විශ්වාසය බිද වැටිය හැකි බවයි.
