ජපානයේ න්‍යෂ්ටික විරෝධතා තවදුරටත්.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පෙරවරු 07:51
ගිම්හානයේ එළඹීම සහ දැඩි උණුසුම් කාලගුණය නොතකා ජපානයේ ටෝකියෝ නගරවාසීන් ඊයේ (10) දිනයේදිත් න්‍යෂ්ටික විරෝධතාවල නිරත වුණා. ජපාන අග‍්‍රාමාත්‍ය යොෂිහිකෝ නෝඩාගේ නිවස ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තාකරුවන් සඳහන් කළේ. පසුගිය වසරේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය පිපිරීමේ සිද්ධියෙන් පසු වසා දැමුණු ජපාන න්‍යෂ්ටික බලාගාර යළි කි‍්‍රයාත්මක කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය නෝඩා ගෙන ඇති තීරණයට එරෙහිව ඔවුන් හඬ නැගුවා. ටෝකියෝ න්‍යෂ්ටික විරෝධතා පැවැත්වුණේ පසුගිය සතියට එළඹී තිබූ දෙවැනි ලෝක යුද්ධ න්‍යෂ්ටික බෝම්බ ප‍්‍රහාරයේ 67 වන අනුස්මරණයට සමගාමීවයි. 1945 වසරේ අගෝස්තු 06 වැනිදා හිරෝෂිමාවටත්, 09 වන දා නාගසාකි දිවයිනටත් ඇමරිකාව විසින් න්‍යෂ්ටික බෝම්බ හෙළනු ලැබුවා. හිරෝෂිමා බෝම්බයෙන් එක්ලක්ෂ 40,000ක් මිය ගිය අතර, නාගසාකි බෝම්බයෙන් මිය ගිය සංඛ්‍යාව 70,000කට අධිකයි. දෙවැනි ලෝක යුධ සමරුව ජපානයේ න්‍යෂ්ටික විරෝධතා උත්සන්න වීමට හේතු වී තිබෙනවා. ෆුකුෂිමා අනතුරින් පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාර 50ක් වසා දැමුණු අතර, අගමැති නෝඩා පවසන්නේ එරට බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා න්‍යෂ්ටික බලය අත්‍යාවශ්‍ය බවයි.
