ටෙසෝ සමුළුව ඇරඹෙයි - දේශ හිතෛෂීන්ගෙන් කොළඹ විරෝධයක්.
2012 අගෝස්තු 12 ඉරිදා- පස්වරු 12:58
තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි විසින් කැඳවා තිබෙන ටෙසෝ හෙවත් දෙමළ ඊලාම් සහයෝගීතා සංවිධානයේ සමුළුවේ පළමු අදියර මේ වනවිට ආරම්භ වී තිබෙනවා. චෙන්නායි හි අකෝඩි සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙම සමුළුවේ පළමු අදියර ආරම්භ වී ඇති බවයි හිරු ප‍්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී චෙන්නායි නුවර ශී‍්‍ර ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ චෙන්නායි රායපේටෙයි ශාලාවේදීයි. එහෙත් ඊයේ දිනයේ චෙන්නායි පොලිස් ප‍්‍රධානියා විසින් ටෙසෝ සමුළුව එම ස්ථානයේ පැවැත්වීමට එරෙහිව චෙන්නායි මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළා. එහිදී මහාධිකරණය තීන්දු කළේ ඊට එරෙහිව පියවර ගැනීමේ බලය පොලිසිය වෙත පැවරීමටයි. රායපේටෙයි ශාලාවේ ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ටෙසෝ සමුළුව එම ස්ථානයේ පැවැත්වීමට ඉඩදිය නොහැකි බවයි චෙන්නායි පොලිස් ප‍්‍රධානියා තීරණය කළේ.
ඒ අනුව අකෝඩි සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ටෙසෝ සමුළුවේ පළමු අදියරට එක්වෙමින් අදහස් දැක්වු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තවේල් කරුණානිධි සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට සිය පක්ෂය ශක්තිමත්ව මැදිහත් වන බවයි. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන බවද කරුණානිධි ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, දැන් පැවැත්වෙන සමුළුව සඳහා ශී‍්‍ර ලංකාවේ නියෝජිතයන් දෙදෙනෙකු සහභාගී වී ඇති බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි චෙන්නායි ශී‍්‍ර ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශකයා හිරු ප‍්‍රවෘත්ති අංශයට තවදුරටත් සඳහන් කළේ. ඔවුන් කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශ කළ නොහැකි බවද ඔහු කියා සිටියා.
මේ අතර, ටෙසෝ සමුළුවට විරෝධය පළ කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය කොළඹ පිහිටි ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවස ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. එහිදී ඔවුන් තමිල්නාඩු විපක්ෂ නායක එම්.කරුණානිධිගේ අනුරුවකටද ගිනි තබා තිබෙනවා. විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වු දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක නොකරන බවට පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකරන ලෙසයි.
