සිරියාවට නව ජගත් සංවිධාන නියෝජිතයෙක්.
2012 අගෝස්තු 18 සෙනසුරාදා- පස්වරු 01:06
හිටපු ජගත් සංවිධාන මහ ලේකම් කොෆී අන්නන් සිරියානු විශේෂ නියෝජිත තනතුරෙන් ඉවත්වීමෙන් පසු හිස්වූ ධූරයට ඇල්ජීරියාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්දාර් බ‍්‍රාහිමි පත්කර තිබෙනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී එම පත්වීම සිදුකරමින් මහ ලේකම් බෑන් කී මූන් ප‍්‍රකාශ කළේ සිරියාව පිළිබඳ ලෝක බලවතුන්ගේ ඒකමතික භාවයක් ඇතිවිය යුතු බවයි. අරාබි ලීගය සහ ජගත් සංවිධානයේ සිරියානු නියෝජිතවරයා ලෙස කටයුතු කළ කොෆී අන්නන්ගේ සාම සැළැස්ම ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවූයේ මෙලෙස ලෝක බලවතුන් අතර පැවති මතබේද නිසයි. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට එරෙහිව ක‍්‍රියාත්මක වන ආණ්ඩු විරෝධී කැරැල්ලේදී බටහිර රටවල් කැරළිකරුවන්ට සහය පළ කරන අතර රුසියාව සහ චීනය ජනාධිපති අසාද්ගේ රජයට සහය දක්වනවා. මේ නිසා සිරියානු රජයට එරෙහිව ඇමරිකාව ඇතුලූ බටහිර රටවල් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා 3 ක් ක් රුසියාව සහ චීනය නිෂේධ බලය යොදා පරාජය කරනු ලැබුවා. මාස 17 ක් තිස්සේ පවතින සිරියානු අරගලයෙන් පුද්ගලයන් 23 දහසක් පමණ මියගොස් ඇති බව ජගත් සංවිධාන වාර්තා සඳහන් කළා. සිරියාව සඳහා ජගත් සංවිධානය විසින් දැන් පත්කර ඇති විශේෂ නියෝජිත ලක්දාර් බ‍්‍රාහිමි මීට පෙර ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ ලෙබනනයේ සාම මෙහෙයුම්වල නිරතවූ ප‍්‍රවීන රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක්.
