විල්ගමුව අධ්‍යාපන බලධාරීන් පැය 2ක් නිවාස අඩස්සියේ.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 06:16
විල්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු හඳුන්ගමුව නවෝද්‍යා පාසැලේ දෙමව්පියන් විසින් පැය 2ක් තිස්සේ නිවාස අඩස්සියේ තබා ගැනීමෙන් පසුව නිදහස් කර තිබෙනවා. ආහාර විෂවීමේ සිද්ධියක් හේතුවෙන් කරුණු සොයා බැලීම සඳහා අද (20) පෙරවරුවේ විල්ගමුව කොට්ඨාශ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාශ අධ්‍යක්ෂ සහ සංවර්ධන විෂය භාර අධ්‍යක්ෂකවරයා හඳුන්ගමුව නවෝද්‍යා පාසලට පැමිණියා. එහිදී දෙමාපියන් විසින් මොවුන් තිදෙනා පාසල තුළ රඳවා ඉබි යතුරු දමා නිවාස අඩස්සියේ තබා ගත් බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් පාසලේ විදුහල්පතිවරයා පැමිණීමෙන් පසුව දෙමාපියන්ට කරුණු පැහැදිලි කර දී මෙම තිදෙනා නිදහස් කර තිබෙනවා. මෙම පාසලේ 5 ශ්‍රේණිය සිසුන් සදහා පැවැති ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණයකින් පසුව කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ලබාදුන් දහවල් ආහාරය විෂවීම හේතුවෙන් සිසුන් 75 දෙනෙකු පෙරේදා රෝහල් ගත කෙරුණු අතර සිසුන් 9 දෙනෙකු තවදුරටත් හඳුන්ගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් මෙම සිසුන් ලබාගත් ආහාරවල කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව සඳහන්.
මේ අතර, විදුලිසැර වැදීම නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුවෙකු මිය යාමේ අවාසනාවන්ත පුවතක් ඇම්බැක්කේ - මැද්දේගොඩ ප‍්‍රදේශයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අද (20) වාර්තා වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ උඩුගම - විජේතුංග ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෂික චරිත් බණ්ඩාර නැමැති ශිෂ්‍යයායි. නිවස අසළ පිහිටා තිබෙන වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටත්ව යන අතරතුරයි ඔහු මෙම අනතුරට පත්ව ඇත්තේ. මීට දින 4කට පමණ ඉහත දී ඔහුගේ නිවස ඉදිරිපිටින් දිවෙන අධි බලැති විදුලි රැහැනට පොල් ගසක් වැටී තිබෙනවා. ඒ අනුව අදාළ විදුලි රැහැන බිමට වැටී ඇති අතර, එමගින් නිකුත් වූ විදුලිසැර වැදීමෙන් මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ. සිද්ධිය ඇසින් දුටු අසල්වාසී කුඩා දරුවෙකු මේ පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.
මෙම විදුලි රැහැන යළි සම්බන්ධ කරදෙන ලෙස යටිනුවර විදුලි ඩිපෝවට දැනුම් දුන්න ද එහි නිලධාරීන් නොපැමිණි බවයි මිය ගිය දරුවාගේ සහෝදරියක සහ අසල්වාසියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.
යටිනුවර විදුලි ඩිපෝවට එල්ල වන මෙම චෝදනාව පිළිබදව හිරු ප‍්‍රවෘත්ති අංශය එහි විදුලි අධිකාරී ටෙනිසන් ගුණසේකරගෙන් විමසීමක් කළා. එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ මෙම විදුලි රැහැන බිඳ වැටීමෙන් පසු එහි විදුලිය විසන්ධි කෙරුණු බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ලංකා විදුලිබල මණ්ඩලයේ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එච්.ඒ.ඞී.බී. පෙරේරාගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
