ලාන්ස් ආම්ස්ට්‍රෝං ට පා පැදිය තහනම්.
2012 අගෝස්තු 25 සෙනසුරාදා- පෙරවරු 11:00
ලොව සුප‍්‍රකට ටුවර් ඩි ෆ‍්‍රාන්ස් පාපැදි සවාරිය 7 වරක් ජයග‍්‍රහණය කළ ඇමරිකානු පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝංට එරෙහිව දිවි ඇති තෙක් තහනමක් පැනවීමට ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, තමාට එරෙහිව එල්ල වී ඇති තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණ කි‍්‍රයාමාර්ගවල නිරත නොවන බව ආම්ස්ට්‍රෝං පැවසීමෙන් අනතුරුවයි. මේ අනුව 1998 වසරේ සිට මේ දක්වා ඔහු දිනූ සියලූම ජයග‍්‍රහණ තිළිණ අහිමි වන අතර ටුවර් ඩි ෆ‍්‍රාන්ස් ජයග‍්‍රහණ 7ට අමතරව 2000 වසරේ දී ඔහු දිනූ ඔලිම්පික් ලෝකඩ පදක්කම, තෑගි මුදල සහ තිළිණ ද මේ අනුව අහිමි වනු ඇති. ලියුම් බෙදන්නෙකු ලෙස දිවිය ආරම්භ කළ පාපැදි ලෝකයේ කිරුළු දැරූ ආම්ස්ට්‍රෝං වරෙක පිළිකා රෝගයට ද ගොදුරු වුණා. එහෙත් ඉන් සුවය ලබා නැවතත් ජයග‍්‍රහණ අතරට පිවිසුණු ඔහු මිලියන සංඛ්‍යාත ක‍්‍රීඩාලෝලීන්ට දිරියේ සංකේතයක්. එහෙත් ඔහු සිය ක‍්‍රීඩා කුසලතා සඳහා ක‍්‍රමානුකූලව තහනම් උත්තේජක යොදා ගත් බවටයි චෝදනා එල්ල වූයේ. අධිකරණ කි‍්‍රයාමාර්ගවල නිරතවීමෙන් තමා තෙහෙට්ටුවට පත්ව සිටින නිසා ඉන් ඉවත් වුවද තහනම් උත්තේජක චෝදනා කිසිසේත්ම පිළිනොගන්නා බවයි ලාන්ස් ආම්ස්ට්‍රෝං කියා සිටින්නේ.
