මෙරට තණතිලි දග පන්දුවට උචිත නැහැ. - සංගක්කාර.
2012 සැප්තැම්බර් 04 අඟහරුවාදා- පස්වරු 01:07
මෙරට කි‍්‍රකට් තණතිලි දැන් දග පන්දු යවන්නන්ට හිතකර නොවූවත්, ශ‍්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමට වැඩි අවස්ථාවක් සහිත කණ්ඩායමක් බව ශ‍්‍රී ලංකා පිළේ කුමාර් සංගක්කාර පවසනවා. පල්ලෙකැළේ, හම්බන්තොට මෙන්ම නැවත තණතිල්ල ඇතුරූ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ද දැන් වේග පන්දු යවන්නන්ට වාසිදායක අන්දමින් හැසිරෙනවා. එස්.එල්.පී.එල්. තරගාවලියේදී කිසිදු කණ්ඩායමක් ලකුණු 200 ඉක්මවා යාමට සමත් වූයේ නැහැ. එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලූලාභීන් 5 දෙනාගෙන් 4 දෙනෙකුම වේග පන්දු යවන්නන්. ශ‍්‍රී ලංකා කණ්ඩායම ද දැන් විවිධ මට්ටමේ වේග පන්දු යවන්නන් සහ දග පන්දු යවන්නන් ප‍්‍රතිවාදීන්ට එරෙහිව යොදා ගනු ලබනවා. තම කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙන නරඹන්නන් ඉදිරියේ ක‍්‍රීඩා කිරීම ශ‍්‍රී ලංකා පිළට වාසිදායකයි. මේ නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවක් සහිතව සිටින බව කුමාර් සංගක්කාර සඳහන් කළා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක, අවසන් මහා තරගය ඇතුළු තරග 15ක්ම පැවැත්වෙන්නේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදියි. එහි මුලින් පන්දුවට පහරදීම වෙනුවට ඉලක්ක හඹා යාමට ද දැන් කණ්ඩායම් පෙළඹී සිටින බව සංගක්කාරගේ අදහසයි.
