ඉරාකයේ හිටපු උප ජනපති මරණ දඬුවම ප‍්‍රතික්ෂේප කරයි.
2012 සැප්තැම්බර් 10 සඳුදා- පස්වරු 07:17
දැනට ඉරාකයෙන් පැන ගොස් සිටින එරට හිටපු උප ජනාධිපති තාරික් අල් හෂීම්ට එරෙහිව ප‍්‍රකාශ කර ඇති මරණ දඩුවම ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු කියා සිටියේ තමා රට තුළ නොමැති අවස්ථාවකදී මෙවැනි දඩුවමක් පැනවීම දේශපාලන කුමන්ත‍්‍රණයක් බවයි. තුර්කියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වත්මන් අගමැති නූරි අල් මලිකිගේ දේශපාලන කටයුතු ද හෙළා දැක තිබෙනවා. හිටපු උප ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස මරණ දඩුවම එරට අධිකරණයක් විසින් ප‍්‍රකාශ කරනු ලැබුවේ පසුගිය ඉරිදායි. ඉරාකයේ සිටි ජ්‍යෙෂ්ඨතම සුන්නි මුස්ලිම් ජාතිකයා තාරික් අල් හෂීම්. එහෙත් වත්මන් අගමැතිවරයා ෂියා මුස්ලිම් ජාතිකයෙකු ලෙසයි සැලකෙන්නේ. ඉරාකය තුළ සුන්නි සහ ෂියා මුස්ලිම් ජාතිකයින් අතර කලක සිට මතභේදාත්මක තත්ත්වයක් පැවති අතර, එම මත ගැටුම් මොහුගේ මරණ දඩුවමට ද හේතුවන්නට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉරාකයේ හිටපු උප ජනාධිපතිවරයාට එරෙහිව ලබාදී ඇති තීන්දුවත් සමග රට තුළ දේශපාලන අර්බුද උග‍්‍ර අතට හැරී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
