බින්ලාඩන් ඝාතනයේදී ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය කළාදැයි සැකයක්.
2012 සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා- පස්වරු 12:50
අල්කයිඩා හිටපු නායක බින්ලාඩන් ඝාතනය සඳහා ඇමෙරිකාව සිදුකළ මෙහෙයුමේදී ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය කළේදැයි සැකයක් මතුවී තිබෙනවා. ඒ බින්ලාඩන් ඝාතන මෙහෙයුමට එක් වූ ඇමෙරිකානු නාවික සෙබලෙක් ලියා පළ කළ ග‍්‍රන්ථයක් හේතුවෙන්. ‘‘නෝ ඊසි ඬේ’’ හෙවත් ‘‘ලෙහෙසි දවසක් නොවෙයි‘‘ නමැති එම ග‍්‍රන්ථයේ ඇමෙරිකානු හෙලිකොප්ටර් ගමන් ගත් ගුවන් මාර්ගය පිළිබඳ සිතියමක් ද දැක්වෙනවා. ඒ අනුව, ඇෆ්ගනීස්ථානයේ ජලලබාඞ් නුවර සිට පාකිස්ථානයේ ඇබටෝබාඞ් දක්වා ඇමෙරිකානු හෙලිකොප්ටර් ගමන් ගනිද්දී ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය වී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වීඩියෝ පටයක දැක්වුණා. අදාළ ග‍්‍රන්ථය ලියා ඇති ඔසාමා බින්ලාඩන් ඝාතන මෙහෙයුමට එක්වූ සෙබලාගේ නම මාර්ක් ඕවන් ලෙස සඳහන් වුවත් එය ඔහුගේ සැබෑ නම නොවන බව සඳහන්. කෙසේ වෙතත් මෙම ග‍්‍රන්ථය රචනා කළ ඇමෙරිකානු නාවික සෙබලාට එරෙහිව නඩු පවරන බව ඇමෙරිකාව මෑතකදී කියා සිටියා.
