General29 October 2019

ලොවක් හැඩවූ තමිල්නාඩුවේ උමඟක සිර වූ දරුවාගේ සිරුර මිහිදන් කෙරේ

තමිල්නාඩුවේ ටි‍්‍රචි හි නඩුකට්ටුපත්ති ප්‍රදේශයේ අත්හැර දැමූ ගැඹුරු ළිඳකට වැටී දින 3කට පසු මිය ගිය අවුරුදු දෙකක් වයසැති සුජිත් විල්සන් දරුවාගේ අවසන් කටයුතු අද උදෑසන සිදුකෙරුණා.

දරුවාගේ උපන් ගම වූ මලයියාදිපති හි ෆාතිමා පුදුර් සුසාන භූමියේ අද උදෑසන 8ට පමණ එම අවසන් කටයුතු සිදුකෙරුණේ සුජිත් විල්සන්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.

කතෝලික ආගමික වතාවත් වලට අනුව එම අවමංගල්‍ය උත්සවය පැවති  අතර, සුජිත් විල්සන්ගේ ගම්මානයේ පමණක් නොව අසල්වැසි ගම්මාන රැසක ජනයා සුසාන භූමිය වෙත පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

පැය 80කට අධික කාලයක් ළිඳ තුළ රැඳී සිටි දරුවාගේ සිරුර නරක් වන තත්ත්වයට පත්වී තිබූ අතර ගොඩගත් වහාම එය කුඩා මිනී පෙට්ටියක බහාලීමට පියවර ගෙන තිබුණා. පසුව එය ඥාතීන් වෙත භාර දී ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා ඔහු වැටුණු නළ ළිඳ ආසන්නයේ තවත් ළිඳක් කැණීමට කටයුතු කෙරුණු අතර, දරුවා මිය ගිය බව දැන ගැනීමෙන් පසු එම කටයුතු අද අලූයම 1.20ට පමණ නතර කර තිබෙනවා.

ළිඳේ විශ්කම්භය අඟල් කිහිපයකට සීමා වීම නිසා සිරුර ගොඩ ගැනීම ද දුෂ්කර කටයුත්තක් වූ බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. දරුවා වැටුණු නළ ළිඳ සහ ජීවිතාරක්ෂක මෙහෙයුමේදී කණිනු ලැබූ ළිඳ ද වසා දැමීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes