General06 July 2025

කථානායකවරයාට ලබා දී ඇති පහසුකම් පිළිබඳව පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත පාර්ලිමේන්තුව විසින් සපයා ඇති පහසුකම් සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වන විවිධ ප්‍රවෘත්ති වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට, කථානායකවරයාගේම යෝජනාවකට අනුව, කැබිනට් අමාත්‍යවරයෙකුට සමාන වන පරිදි ඉන්ධන පහසුකම ලබාදීමට 2025 මැයි 02 වන දින පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කර ඇති අතර, ඒ අනුව, වත්මන් කථානායකවරයාට නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම මසකට ලීටර 900 දක්වා අඩු කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

තවද, 2025.01.21 දිනැති පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව, කථානායකවරයාට හිමි නිල වාහන දෙක (CAN 8753/CBI 5198) ඔහු විසින් භාවිතා කරන බවත්, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා NC 4923 දරන වෑන් රථය ලබා දී ඇති බවත් සඳහන්.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා, පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන්ද ආහාරවලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

කථානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිතා නොකරන අතර, ඔහුට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

මීට අමතරව, කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Related Recommends
Hiru TV News | Programmes