General08 September 2025

'අයිස්' අමුද්‍රව්‍ය කන්ටේනර් ගැන විදෙස් බුද්ධි අංශයක් ඔත්තුව දීලා!

ඉදුනීසියාවෙන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බැකෝ සමන් හෙළි කළ තොරතුරුවලට අනුව මිද්දෙණියේ ගෙවත්තක තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය රැගෙන ආ බව කියන කන්ටේනර් දෙක වරායට පැමිණි අවස්ථාවේම විදෙස් බුද්ධි ඒජන්සියක් ඒ බව මෙරටට දැනුම් දී ඇතැයි  වාර්තා වෙනවා.

ඒ අනුව රේගු භාරයට ගත් එම කන්ටේනර් දෙක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා පරීක්ෂාකොට පසුව නිදහස් කර ඇතැයි ද පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

මෙම කන්ටේනර් පසුගිය ජනවාරි මාසයේ නිදහස් කර ඇති අතර ඒවා රැගෙන යාමට පැමිණ ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙක් බවද අනාවරණය වී තිබෙනවා.

ටයිල් අමුද්‍රව්‍ය අතර සඟවා අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මෙම කන්ටේනර් තුළ සඟවා මෙරටට රැගෙන විත් ඇතැයි අනාවරණය වන්නේ ඉරානයේ සිටයි.

විදෙස් බුද්ධි එජන්සියක් විසින් මෙරට බලධාරීන් දැනුවත් කර ඇත්තේ එම කන්ටේනර් තුළ අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ඇති බවයි.

එසේ තිබියදීත් මෙම කන්ටේනර් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර නිදහස් කිරීමට පෙර පරීක්ෂා කිරීමක් කර සිදු වී නොමැති බවද  පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

මෙම කන්ටේනර් රථ දෙක බැකෝ සමන් ගේ තොරතුරු මත සොයා ගැනීමත් සමඟ අනිත් කන්ටේනරය පරික්ෂා කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

මෙම කන්ටේනර් දෙකේ සඟවා රැගෙන ආ රසායනික ද්‍රව්‍ය කෙහෙල්බද්දර පද්මේ මුදල් ආයෝජනය කළ බව කියන නුවරඑළියේ පිහිටි අයිස් නිෂ්පාදනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවද කියැවෙනවා.

එම රසායනික ද්‍රව්‍ය සඟවා රැගෙන ආ බහලුම් දෙක තිබී ඇත්තේ දකුණු පළාතේයි.

නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරය ගැන මාධ්‍ය තුළින් තොරතුරු එළියට ඒමත් සමඟ බැකෝ සමන්ගේ ගෝල බාලයේ එම කන්ටේනර්වල තිබූ සෙසු ද්‍රව්‍ය වලදමා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

එම ස්ථානය හෙළි කරගත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (07) සිට එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

Related recommendation
Hiru TV News | Programmes