International02 October 2025

ඉන්දු - අමෙරිකානු සබඳතාවලට කොළ එළියක්

ට්‍රම්ප් පරිපාලනය පැනවූ තීරු බදු හමුවේ සංකීර්ණ වී තිබූ ඉන්දු - අමෙරිකානු සබඳතා සඳහා කොළ එළියක් දල්වා ලමින් දෙරටේ නායකයින්ගේ සුහද අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගාසා ගැටුම අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සැලැස්මට ඉන්දියාව සහය දක්වා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවිඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social ඔස්සේ නැවත පළ කර තිබීම ජාත්‍යන්තරයේ වැඩි අවධානයට යොමුව තිබෙනවා.

එම සටහන ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ගාසා ගැටුම අවසන් කිරීම සඳහා පුළුල් සැලැස්මක් පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බවයි.

මෙම සැලැස්ම පලස්තීන සහ ඊශ්‍රායල ජනතාවට මෙන්ම විශාල බටහිර ආසියානු කලාපය සඳහා දිගුකාලීන සහ තිරසාර සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ශක්‍ය මාවතක් ලබා දෙන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ලෝකයේ වඩාත්ම විසඳිය නොහැකි ගැටුම්වලින් එකක් සමථයකට පත් කිරීමට අමෙරිකාව දරන උත්සාහයට ඉන්දියාව අනුමැතිය ලබා දෙන බවත්, ජනාධිපති ට්‍රම්ප්ගේ මුලපිරීම පිටුපස සියලු දෙනා එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු පළ කර ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes