General03 October 2025

මාළු ලොරියකින් අල්ලස් ගත්තැයි PHIලාට චෝදනා

ප්‍රවාහනයේදී අයිස් දියවීම හේතුවෙන් පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබු මාළු ලොරියකට නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් 20,000ක අල්ලස් මුදලක් පුත්තලම - තිල්අඩිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාගත් බව අදාල මාළු ලොරියේ හිමිකරු පවසනවා.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ නඩු පැවරීමට අදාළ කටයුතු සිදුකරමින් සිටියදී මාළු ලොරිය රැගෙන එහි රියදුරු පළා ගිය බවයි.

පුල්මුඩේ සිට කොළඹට ඊයේ පෙරවරුවේ මාළු ප්‍රවාහනය කරමින් සිටි මෙම ලොරි රථයේ අයිස් දිය වී තිබීම හේතුවෙන් එහි මාළු තොග පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව පවසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ලොරි රථය නවතා ගෙන තිබෙනවා.

පසුව අදාළ ලොරි රථය පුත්තලම - තිල්අඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත ගෙන ඒමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා කටයුතු කර ඇත්තේ.

මාළු ලොරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරන බව ලොරියේ රියදුරු එහි හිමිකරුට දැනුම් දී ඇති අතර පසුව ඔහු නිලධාරීන්ට පවසා ඇත්තේ රුපියල් 25,000 මුදලක් රියදුරු මාර්ගයෙන් ලබා දී ලොරිය නිදහස් කරන ලෙසයි.

ලොරියේ හිමිකරු පවසන්නේ රුපියල් 25,000ක මුදලක් ලබාදෙන ලෙස පැවසුව ද තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රුපියල් 20,000 මුදලක් ලබා දී මාළු ලොරිය නිදහස් කර ගත් බවයි.

ලොරියේ හිමිකරු පැවසූ පරිදි අල්ලස් ලබාගෙන පාරිභෝජනයට නුසුදුසු මාළු ලොරිය නිදහස් කළා දැයි අප මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසා සිටි අතර ඔවුන් පවසා සිටියේ ලොරි රථය තමන් භාරයේ පවතින බවයි.

කෙසේ වෙතත් පසුව ලොරි රථය තම භාරයෙන් මිදී ගෙනගොස් ඇති බවත්, ඔවුන් එය පසුපස හඹායමින් සිටින බවත්, ප්‍රකාශ කළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාරිභෝජනයට නුසුදුසු මාළු ලොරිය ගෙනගොස් ඇති බව පුත්තලම පොලිසියට පැමිණිලි කර ඇත්තේ සිද්ධිය වී පැය කිහිපයකට පසුවයි.

ඒ අනුව වයඹ පළාතේ සිට බස්නාහිර පළාතට ප්‍රවාහනය කර ඇති පාරිභෝජනයට නුසුදුසු අදාළ ලොරි රථයේ තිබු මාළු තොග මේ වනතෙක් සොයාගැනීමට වගකිව යුතු බලධාරීන්ට මෙතෙක් හැකිව නැහැ.
Related recommendation
Hiru TV News | Programmes