General13 May 2026

ආණ්ඩුව ගොවියා රජ කරනවා කියා ගොවි ජනතාව විනාශ කර අවසන් - සජිත් ප්‍රේමදාස

වත්මන් රජය ගොවි ජනතාව රජ කරවන බවට පොරොන්දු දී බලයට පත් වුවද, අද වන විට ගොවියාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම පහළට ඇද දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (13) ආනමඩුව නවගත්තේගම, ඉගිනිමිටිය ප්‍රදේශයේ පැවැති ගොවිජන හමුවක් අමතමින්

මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස කියා සිටියේ, රට පුරා ගොවීන් මුහුණ දෙන බිත්තර වී හිඟය සහ පොහොර ගැටලු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන විට, විෂය භාර අමාත්‍යවරයා එවැනි ගැටලු නොමැති බව පවසමින් ගොවි ජනතාව මුලාවට පත් කරන බවයි.

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවියාට රුපියල් 130-135ක් අතර වියදමක් ගියත්, කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව එම වියදම රුපියල් 90-95ක් බවත්, අමාත්‍යවරයාට ගොවිතැනේ චක්‍රය පිළිබඳ අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළා.

මැතිවරණ සමයේ වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් නීතිගත කරන බවට දුන් පොරොන්දු අද අමතක කර ඇති බවත්, තෙතමනය 14%ක් සහිත වී රුපියල් 120කට මිලදී ගැනීම පවා නිසි ලෙස සිදු නොවන බවත් පැවසුවා.

2019 වසරේ සේම 2024 දී ද ගොවියා දේශපාලන පොරොන්දුවලට රැවටී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වත්මන් රජය IMF කොන්දේසි හමුවේ අසරණ වී ඇති බවත්, ගොවිතැන නවීකරණය කරනවා වෙනුවට එය විනාශ කරමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය යටතේ ගොවියා වෙනුවෙන් නව "සමාජ ගිවිසුමක් සහ ප්‍රඥප්තියක්" හඳුන්වා දෙන බව ප්‍රකාශ කළා.

පොහොර, තෙල් සහ කෘෂි රසායන මිල ඉහළ යාම මෙන්ම වන අලි ගැටලුව හමුවේ අසරණ වී සිටින ගොවියාට ස්ථාවර සහ සහතික මිලක් ලබා දීම සිය අනාගත රජයක ප්‍රමුඛතාවය බවද ඔහු අවධාරණය කළා.

මේ ඇමතිවරුන්ට අද ජනතාව ළඟට එන්න බයයි. පුළුවන් නම් ගොවියා ළඟට ගිහින් මේ ගැටලු ගැන සොයා බලන්න කියලා මම අභියෝග කරනවා. අපි ගොවි ජනතාව ඒකරාශී කරලා දැවැන්ත බලවේගයක් නිර්මාණය කරනවා යැයිද විපක්ෂ නායකවරයා පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes