General09 June 2026

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි

ලාංකීය කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක, පරිසරවේදිනියක ලෙස ගරු බුහුමනට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය අද (09) සිය ජීවන ගමන් මගේ 99 වැනි වියට පා තබනවා.

1927 ජුනි මස 9 වැනිදා රුවන්වැල්ලේදී උපත ලැබූ ඇය, අයිරාංගනී රොක්සානා මීදෙණිය වූ අතර විවාහයෙන් පසු අයිරාංගනී සේරසිංහ නම් වූවා.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. (B.A.) උපාධිය හිමිකරගත්තා.

රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ ඇය, පසුව 'ටයිම්ස්' පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කර තිබෙනවා.

1950 දශකයේදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඉංග්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, 1955 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකින් සිනමාවට පිවිසියා.

ඉන් අනතුරුව ලෙස්ටර්ගේම සුවිශේෂී සිනමා නිර්මාණයක් වූ "රේඛාව" චිත්‍රපටයේ 'කතිරිනා හාමි' චරිතය නිරූපණය කරමින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඒ වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමටද සමත් වුණා.

අද්විතීය රංගන දායකත්වය වෙනුවෙන් "කලාකීර්ති" ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂිකා දීපා මේතාගේ "වෝටර්" (Water) චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකට ද තම රංගන දායකත්වය සපයා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes