General09 June 2026

සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි

රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ප්‍රකාශ කළා.

ඇය මේ බව සඳහන් කළේ සුරේෂ් සලේගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (08) කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ තමන්ට පමුණුවන වධ හිංසාවලට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණේ පසුගිය 5 වැනිදා රාත්‍රියේ සිටයි.

ඉන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන පෙරේදා රාත්‍රීයේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා.

මේ වනවිට 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේට ඔහුගේ නීතිඥයින් හමුවීමට ඊයේ අවසර හිමිවුණේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව, නීතිඥයින් සමඟ ඇය සුරේෂ් සලේ හමුවීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා.

මේ අතර සුරේෂ් සලේට සිදුවූ බව පැවසෙන, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ජාතික රෝහල වෙත පැමිණ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes