General09 June 2026

ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි

කාම්බෝජය, මියන්මාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් සයිබර් අපරාධ සහ මාර්ගගත මූල්‍ය වංචා මැඩලීම සඳහා දියත් කර ඇති දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ, එහි සිටි ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සිය නවතම මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරාගනිමින් සිටින බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය පෙන්වා දෙනවා.

විමර්ශන අංශ පවසන පරිදි, ශ්‍රී ලංකාවේ පවතින ලිහිල් සංචාරක වීසා ප්‍රතිපත්තිය (Visa-free travel), පහසුවෙන් ගොඩනැගිලි සහ සුඛෝපභෝගී විලා කුලියට ගැනීමට තිබීම, ඉහළ වේගයකින් යුත් සන්නිවේදන සහ අන්තර්ජාල පහසුකම් මෙන්ම නිල මූල්‍ය පද්ධතියෙන් බැහැරව ක්‍රියාත්මක වන 'උන්ඩියල්' වැනි මුදල් හුවමාරු ක්‍රමවේද පැවතීම හේතුවෙන් මෙම සයිබර් අපරාධකරුවන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වී තිබෙනවා. මොවුන් සංචාරකයින් ලෙස මෙරටට පැමිණ, කොළඹ නගරය සහ දකුණු හා බටහිර වෙරළ තීරයේ සංචාරක හෝටල් මෙන්ම නිවාස කුලියට ගෙන මෙම සයිබර් වංචා මධ්‍යස්ථාන (Scam centres) පවත්වාගෙන යන බවයි හෙළි වී ඇත්තේ.

මෙම භයානක තත්ත්වය හමුවේ ක්‍රියාත්මක වී ඇති ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් විශේෂ සයිබර් අපරාධ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති අතර, 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මෙරටදී මාර්ගගත වංචාවල නිරත වූ චීනය, වියට්නාමය, ඉන්දියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක විදේශීය ජාතිකයින් 1,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙය 2024 වසරේ සමස්ත අත්අඩංගුවට ගැනීම් (430ක්) මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

මෙම ජාවාරම් හරහා ආදර සබඳතා ව්‍යාජව ගොඩනඟා ආයෝජන ලබාගැනීම (Pig-butchering), ක්‍රිප්ටෝ මුදල් සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි හරහා විදේශිකයින් මුළා කිරීම් සිදුකරන අතර, මේ වන විට චීන තානාපති කාර්යාලය ද ශ්‍රී ලංකා රජය සමඟ එක්ව මෙම අන්තර්ජාතික සයිබර් අපරාධ ජාලයන් සුණු විසුණු කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ශක්තිමත් කර තිබෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වෙමින් පවතින බැවින්, සැකකටයුතු ලෙස නිවාස හෝ විලා කුලියට ගන්නා විදේශිකයින් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මෙරට දේපළ හිමිකරුවන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes