General09 June 2026

ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි

එංගලන්තයේ සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණය සහ පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ මෑතකදී පැවැති ජාත්‍යන්තර තරග සඳහා භාවිත කළ තණතීරු (Pitches) 'අසතුටුදායක' මට්ටමක පැවැති බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එම ක්‍රීඩාංගණ දෙකටම දඬුවම් ලකුණු (Demerit points) පැනවීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

අයි.සී.සී. තණතීරු සහ පිටි නිරීක්ෂණ ක්‍රියාවලිය (Pitch and Outfield Monitoring Process) යටතේ මෙම ක්‍රීඩාංගණ දෙක වෙත එක් දඬුවම් ලකුණ බැගින් (1 demerit point each) ලබා දී ඇත්තේ අදාළ තරගවල තීරකවරුන් (Match Referees) විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුවයි.

මෑතකදී නිමාවූ එංගලන්ත - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය පැවැති ලෝඩ්ස් තණතීරුව පිළිබඳව වාර්තාවක් සපයමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් (Andy Pycroft) පෙන්වා දී ඇත්තේ, එම තණතීරුව පන්දු යවන්නන්ට පමණක් අධික ලෙස වාසිදායක වූ එකක් වූ බවයි.

එහි පළමු දිනයේදී කඩුලු 16ක් සහ දෙවැනි දිනයේදී කඩුලු 17ක් වශයෙන් දින දෙකක් තුළ කඩුලු 33ක් බිඳ වැටුණු අතර, පන්දුවේ දෝලනය (Seam movement) සහ අසමාන පිම්ම (Variable bounce) හේතුවෙන් පිතිකරුවන්ට ක්‍රීඩා කිරීම අතිශය දුෂ්කර වූ බව එහි සඳහන්.

මෙම තරගය ලෝඩ්ස් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි කෙටිම ටෙස්ට් තරගය ලෙස ද ඉතිහාසයට එක් වුණා.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ හිමිකාරීත්වය දරන මාලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) නිල ප්‍රකාශයක් නිකුත් කරමින්, එම තණතීරුවේ පැවති අසතුටුදායක තත්ත්වය සහ තරගය දින දෙකකින් නිමාවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්ම දෙරටේ ක්‍රිකට් ආයතනවලින් නිල වශයෙන් සමාව අයදීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තෙවැනි එක්දින (ODI) තරගය පැවැති ගඩාෆි ක්‍රීඩාංගණයේ තණතීරුව පිළිබඳව වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම අයි.සී.සී. තරග තීරකවරයෙකු වන ග්‍රැහැම් ලැබ්රෝයි (Graeme La Brooy) විසින්.

එම තණතීරුව අධික ලෙස මන්දගාමී (Slow and low) ස්වභාවයක් ගත් බැවින් ලකුණු රැස් කිරීම අතිශය අපහසු වූ බවත්, එක්දින තරගයකට එය කිසිසේත්ම නොගැලපෙන බවත්, තරගයේ මුල් භාගයේ සිටම දඟපන්දු යවන්නන්ට පමණක් සහය දැක්වූ බවත් ඔහුගේ වාර්තාවේ දැක්වෙනවා.

අයි.සී.සී. නීතිරීතිවලට අනුව මෙලෙස පැනවෙන දඬුවම් ලකුණු වසර 5ක කාලයක් (5-year rolling period) බලපවත්වන අතර, යම් ක්‍රීඩාංගණයක් දඬුවම් ලකුණු 6ක් හෝ ඊට වඩා ලබාගතහොත් මාස 12ක කාලයකට ජාත්‍යන්තර තරග පැවැත්වීමේ අයිතිය අහිමි වෙනවා.

මෙම තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා එංගලන්ත සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල වෙත දින 14ක කාලයක් හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes