General09 June 2026

මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!

​හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමග වත්මන් ආණ්ඩුවට පවතින දේශපාලන ගැටලු සඳහා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන් ඉත්තන් කර නොගන්නා ලෙසත්, ඔවුන්ව සිරගත කරමින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ නොකරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අවධාරණය කරනවා.

​අද (09) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දෙවැනි දිනටත් සුරේෂ් සලේට සහය දෙමින් පැවති සත්‍යග්‍රහයට එක් වෙමින් ඔහු මේ අදහස් පලකළා.

වත්මන් පාලකයින් කටයුතු කරන්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් මත බවත්, 2009 මැයි 18 වැනිදා යුද්ධය අවසන් කර ලබාගත් නිදහසේ ප්‍රතිලාභ අද මුළු රටේම ජනතාව භුක්ති විඳින පසුබිමක, ඒ වෙනුවෙන් කැපවූ රණවිරුවන්ට පමණක් එම නිදහස අහිමි කර දේශපාලන දඩයමක නිරත වෙමින් සිටින බවයි ඔහු පවසන්නේ.

​එමෙන්ම පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ යුක්තිය ඉටුවිය යුතු බව අවධාරණය කළ විපක්ෂ නියෝජිතයින්, එදා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තුවට මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළත් කළේ කවුද යන්නත්, ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කවුද සහ ඔවුන්ව මෙහෙයවූයේ කවුද යන්නත් සමාජය ඉදිරියේ හෙළිවන දිනය වැඩි ඈතක නොවන බවද ප්‍රකාශ කළා.

​දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් සිදුකරන මෙම අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වන්නේ මේ රටේ පොදු මහජනතාව බවයි ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes