International02 October 2026

මක්කම ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ බවට පැතිරුණු කටකතා අසත්‍යයි සවුදි අරාබියෙන් නිවේදනයක්

මක්කම ශුද්ධභූමියේදී මරාගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන කිහිපයක්‌ පැතිරගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සවුදි අභ්‍යන්තර අමාත්‍යාංශය (MoI) සඳහන් කර ඇත්තේ එම අත්අඩංගුවට ගැනීම මහා පල්ලියට එල්ල වූ ප්‍රහාරක උත්සාහයක් සම්බන්ධයෙන් සිදුකළ එකක් නොවන බවයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පූජනීය නගරයේ මඟීන්ට හිරිහැර කරමින් බිය හා කලබලයක් ඇති කළ පුද්ගලයෙකු අදාළ අවස්ථාවේදීම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සඳහා මහජන අභිචෝදක කාර්යාලය වෙත යොමු කර ඇති බවයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙසත් බලධාරීන් ජනතාවට අවධාරණය කර තිබෙනවා.

මේ වන විට යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සවුදි අරාබිය දැඩි ආරක්ෂක තත්ත්වයකට මුහුණ දී සිටින පසුබිමක මෙම කටකතා පැතිරී යාම විශේෂත්වයක්.

මෑතකදී මදීනා නගරයේ විදුලි පහසුකම් ඉලක්ක කර හූති ප්‍රහාරයක් එල්ල වූ බවටද සවුදි-ප්‍රමුඛ සන්ධානය පසුගියදා වාර්තා කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes