International02 October 2026

අමෙරිකාවෙන් ඩීසල් අපනයන තහනමක්? යුරෝපයට හදිසි ඩීසල් සංචිත මුදා හරින්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

ලෝක වෙළඳපොළේ පවතින උග්‍ර ඩීසල් හිඟය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සිදුකරන ඩීසල් අපනයනය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, යුරෝපීය රටවල පවතින හදිසි ඩීසල් සංචිත වෙළඳපොළට නිදහස් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමට සූදානම් වන බව බීබීසී පුවත් සේවය පවසනවා.

ඉන්ධන මිළ ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ගොවීන්, ලොරි රථ රියදුරන් සහ ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත්, එම බර ඔවුන් මත පමණක් පටවා නොතබා යුරෝපීය රටවල් වහාම තම ඩීසල් සංචිත වෙළඳපොළට මුදාහැරීමට කටයුතු කළ යුතු බවත් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර සිටින බවයි එම පුවත් සේවය පවසන්නේ.

ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති බලශක්ති අර්බුදය හමුවේ ඇමෙරිකාවේ ඩීසල් මිළ ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ඇමෙරිකානු පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ මෙම මිළ ඉහළ යාම ඇමෙරිකානු ජනතාවගේ ප්‍රධාන අවධානයට ලක්වූ කරුණක් බවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇමෙරිකාව දිනකට ඩීසල් බැරල් මිලියන 1.2 ත් 1.5 ත් අතර ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අපනයනය කරන ප්‍රධානතම සැපයුම්කරුවෙක්.

යම් හෙයකින් ඇමෙරිකාව ඩීසල් අපනයනය තහනම් කළහොත් ලොව සෙසු රටවල ඩීසල් මිළ තවදුරටත් අහස උසට ඉහළ යනු ඇති බවයි ආර්ථික විෂ්ලේෂකයෝ අනතුරු අඟවන්නේ.

මේ අතර, ඇමෙරිකානු අපනයන තහනමක් ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා හදිසි ඩීසල් සංචිත මුදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සහ යුරෝපීය සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා පවත්වා තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක මිළ මේ වන විට පෙඩ්‍රල් ලීටරයක් පැන්ස 200 (200p) සීමාවට ආසන්න වෙමින් සර්වකාලීන ඉහළම අගයක පවතිනවා.

ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයකට බාධා එල්ල වී ඇති අතර, එමගින් ගෝලීය වශයෙන් ඛනිජ තෙල් සහ ඩීසල් මිළ ගණන් දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes