International02 October 2026

ඉන්ධන මිල පාලනයට G7 රටවලින් තෙල් බැරල් මිලියන 100ක් වෙළෙඳපොළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිතවලින් තෙල් බැරල් මිලියන 100ක් ඉදිරි මාස හතර ඇතුළත වෙළෙඳපොළට නිදහස් කිරීමට ජී-7 බලවතුන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA) හරහා මෙය සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

මෙම සැලසුම යටතේ විශේෂයෙන්ම ඩීසල් හිඟයට පිළියමක් ලෙස පළමු දින 20 ඇතුළත ඩීසල් සංචිත විශාල ප්‍රමාණයක් මුදාහැරීමටද පියවර ගන්නා බව වාර්තා වනවා.

මේ අතර, යුරෝපා රටවල් තමන් සතු ඩීසල් සංචිත වෙළෙඳපොළට මුදාහැරීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

අමෙරිකාව තුළද ඩීසල් ගැලුමක මිල ඩොලර් 6.37 දක්වා ඉහළ ගොස් ඇති අතර, එළඹෙන නොවැම්බර් මැතිවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම ට්‍රම්ප් පාලනයට දැඩි දේශපාලන බලපෑමක් එල්ල කර ඇති බව සඳහන්.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් මෙම බලශක්ති අර්බුදය නිර්මාණය වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී වැඩිදුර පියවර ගැනීමට G7 රටවල් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes