International03 October 2026

ඖෂධ මාත්‍රා දෙකකින් පසුවත් බේරුණු ක්‍රිස්ටා පයික්ගේ තත්ත්වය බරපතලයි - මේ වසරේ මරණ දණ්ඩනය නෑ!

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු රෝහල්ගත කළ ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වූ ක්‍රිස්ටා පයික් මේ වනවිට සිහිසුන්ව ශ්වසන යන්ත්‍රයක සහාය ලබමින් සිටින බව ඇගේ නීතිඥයන් පවසන බව BBC පුවත් සෙවය වාර්තා කරනවා.

50 හැවිරිදි ක්‍රිස්ටා පයික්ගේ තත්ත්වය බරපතළ බවත්, ඇය නැෂ්විල් ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවල සඳහන්.

මීට පෙර වාර්තා වූ පරිදි, ඇයට මාරාන්තික ඖෂධ මාත්‍රා දෙකක් ලබාදී තිබුණද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් පසු ඇය රෝහල්ගත කෙරුණා.

නවතම අධිකරණ ලේඛනවලට අනුව, වෛද්‍යවරුන් ඇයගේ ශරීරයෙන් ලබාදුන් ඖෂධ ඉවත් කිරීමටත්, ඇයගේ ජීවිතය බේරා ගැනීමටත් ප්‍රතිකාර කරමින් සිටින බවයි නීතිඥයන් සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ටෙනසි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ස්වාධීන විමර්ශනයක් නියෝග කර ඇති අතර, මේ වසරේ ඉතිරි මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම්ද තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිස්ටා පයික් 1995 වසරේදී කොලීන් ස්ලෙමර් නමැති 19 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී 1996 වසරේදී මරණ දඬුවමට නියම වී තිබුණා.

මූලාශ්‍රය - BBC
Related recommendation
Hiru TV News | Programmes