International03 October 2026

Flydubai යානයේ සිද්ධිය ගැන CEO කට අරියි – “නිල පරීක්ෂණයෙන් සියල්ල පැහැදිලි වේවි”

ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබියදී සිදුවූ Flydubai FZ1073 යානයේ නියමු කුටියේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ප්‍රශ්න නිල පරීක්ෂණයෙන් පැහැදිලි කරගත හැකි බව Flydubai ප්‍රධාන විධායක නිලධාරී Ghaith Al Ghaith පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය බදාදා (30) සිදුවූ මෙම “ආරක්ෂක සිද්ධිය” සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, FZ1073 යානයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට බොහෝ ප්‍රශ්න මතුවී ඇති බව තමන් දැනුවත්ව සිටින බවයි.

කෙසේ වෙතත්, අදාළ බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සම්පූර්ණ නිල පරීක්ෂණයක් මේ වනවිට ක්‍රියාත්මක වන බවත්, එම පරීක්ෂණයට Flydubai ආයතනයේ පූර්ණ සහාය ලබාදෙන බවත් ඔහු පවසනවා.

පරීක්ෂණ ක්‍රියාවලිය මඟින් සිද්ධියට අදාළ කරුණු තහවුරු කරගැනීමට අවස්ථාව ලබාදීම වැදගත් බවයි Flydubai ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, සිද්ධියෙන් පසු යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට කටයුතු කළ ඉන්දීය ජාතික ගුවන් නියමු Smit Machchhar ඇතුළු අනෙකුත් ගුවන් නියමුවන්ට සහ කැබින් කාර්ය මණ්ඩලයටද ඔහු සිය ස්තූතිය පළකර තිබෙනවා.

මේ අතර, බලධාරීන්ගේ ඉල්ලීම මත Flydubai විසින් ඩුබායි - ටෙල් අවිව් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සිද්ධියේ හේතුව හෝ ඊට සම්බන්ධ විය හැකි අරමුණ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නිල පරීක්ෂණය තවදුරටත් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූලාශ්‍රය - EFE
Related recommendation
Hiru TV News | Programmes